2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ලාභායි ලාභායි... බලාගෙනයි!

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 1508

අපි වීදි දිගේ ඇවිද ගියෙමු. කාෂ්ඨක අව්වේ, ගිනි මද්දහනේ, දූලි විමානේ මුදල් පැළකර අස්වනු නෙලනා කොළඹ කොටුවේ ඇවිද ගියෙමු. ගතවෙන සෑම තත්පරයකම මේ වර්ගකිලෝමීටරය තුළ මගඩි සිය ගණනක් සිදුවේ. දුප්පත් කටවල් දහස් ගණනක් පෝෂණය වේ. රටේ කොයි අස්සටත් බඩු පැටවේ. රටේ වඩාත්ම වැඩි ජන වෙනසක් ඇති හා වැඩිම විවිධත්වයෙන් යුත් වෙළෙදාම් සිදුවෙන ඒරියල් එක මේ යැයි කියූකල ඊට විවාද අවශ්‍ය නැත. මල්වත්ත පාරේත්, පළමුවැනි හරස් වීදියේත් මහා සෙනඟක් නම් නැත. එහෙත් වෙනත් වෙළෙඳාම් ජයටම කෙරිණි. පළමු හරස්‌වීදිය දිගට විදුලි උපකරණ, ටොයිස්‌ බඩු, ජංගම දුරකථන වෙළෙඳාම ජයටම කෙරෙයි. නිවසකට අවශ්‍ය බොහෝ විදුලි උපකරණ එම වීදිය දිගට පදිකයේ විකිනිණි. රුපියල් දහසේ සිට විසිදහස, විසි පන්දහස දක්‌වා ඕනෑම මාදිලියක ජංගම දුරකථන සහ අමතර කොටස්‌ද පදිකය දිගට විකිණේ. එක පෙළට ජංගම දුරකතන තට්‌ටු පෙළකි. ලෑලි පිරෙන්න ජංගම දුරකතනය. කඩෙන් ගන්න බැරි ගාණට සුපිරි ෆෝන් එකක්‌ ගන්න අපි ළඟට එන්න... ඇතැම් වෙළෙඳුන් පේව්මන්ට්‌ටුවේ ජංගම දුරකතන ලංසු තබන්නේ එසේය. විවිධ වෙළෙඳුන්ගේ කෑකෝ හඬට කන් දෙදරවන තරම්ය.

මල්වත්ත පාරත්, පළමුවැනි හරස් වීදියත් හා දෙවැනි හරස් වීදියත් යන තුනටම පොදු කාරණය නම් ඒවායේ විකිණෙන ජංගම දුරකතනය. මෙකී හරස්වීදි ඔස්සේ ඇවිද යන විට නිතර දැකිය හැකි දර්ශනයක් වේ. එනම් දුරකථනයක්‌ මිලට ගැනීමට හෝ මිල ගණන් විමසීම පිණිස එය වටා රොක්‌ වූ මිනිසුන් පිරිසක්‌ වූ අතර බාල ලීයෙන් කළ ලී තට්‌ටුව වැසීයන සේ අතුරා ඇති ඉටිකොළයක්‌ මත විවිධ මාදිලියේ ජංගම දුරකථන රාශියක් වීමයි. පළමු වැනි හරස්‌ වීදියේ නිත්‍යනුකූලව පවත්වාගෙන යන ජංගම දුරකතන අලෙවිසලක අලෙවිය පිණිස ප්‍රදර්ශනය කර තිබූ රුපියල් තිස්‌ දහසකට ආසන්න අගයකින් යුත් ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයක මිල පදික වේදිකා දුරකතන අලෙවියේදී රුපියල් අටදහසක්‌ පමණ අඩු අගයකින් යුක්‌තය. බැලූ බැල්මට දුරකතන දෙකෙහිම ඇත්තේ එක සමාන පෙනුමක්‌ය. වෙනසකට ඇත්තේ මිල ගණන්වල පරතරය පමණක්‌ය. පාරිභෝගිකයන් වන අප අන්දවන්නේද අප විසින් කැමැත්තෙන්, ඇඳගන්නේද, මිල ගණන් විමසීමත් සමඟය. මිල ඇසූ විට කැඩුණත් කමක් නෑ මාස දෙකක් පාවිච්චි කරලා යන අදහස නිතැතින්ම සිතට පැමි‍ණේ.

ඒ හැරුණ කල මල්වත්ත පාර සුවිශේෂිවන්නේ සපත්තු හා බෑග් වෙළෙඳාමටය. ඉංග්‍රීසි ආණ්‌ඩුව කාලේ කොළඹ කොටුව ඇතුළෙ තිබුණු අලංකාර මල් යාය සහිත ප්‍රභූ නිවාස පෙළ පිළිබඳ සියලුම මතකයන් අංශු මාත්‍රයක්‌ ශේෂ නොවන සේ වළලා දමා ඇතත් තවමත් මල්වත්ත නම විතරක්‌ ඉතිරිව තිබේ. අක්‍රමවත් වෙළෙඳ නගරයක අපිළිවෙළ කඩ සාප්පු අතර පිපිණු මලෙක සේයාවක්‌වත් නැති මල්වත්ත පාර කාලයක්‌ පුරා ප්‍රසිද්ධ වී තිබුණේ පරණ කෝට්‌වලට බව තතුදත්තෝ දනිති. දැන් කෝට්, සපත්තු වලින් හිලව් වී තිබේ. මිලෙන් අඩුම බඩුවේ සිට ලෝකයේ හොඳම තත්ත්වයේ සන්නාම දක්වා සියල්ල මේ මීටර් දෙසීය ඇතුළේ සොයාගත හැක. විටෙක හොඳම සන්නාමයේ සපත්තු කුට්ටමටත් වඩා නිමාවක් ඊට අඩු මිලට ඇති සපත්තු කුට්ටමක දැකිය හැක. එහෙත් ඒ එක්කෝ මාසයකටය, නැතිනම් සති දෙක තුනකටද විය හැක. නමුත් සෑබෑවටම මේ පාරේ තත්ත්වයෙන් උසස් නිපැයුම් නැතිවාද නොවේ.

ඔරිජිනල් ලෙදර් බඩු. නැවෙන් බාපු ගමන්. එන්න මහත්තයා... කීයටද කුට්ටමක් බලන්නේ. ආයේ වෙන ගන්න තැනක් නෑ. මෙතන විතරයි... කොහේද හලෝ යන්නේ. පාර බලාගෙන යනවාකෝ... ලස්සන නෝනා.. සපත්තු ගමුද හඬ උත්කර්ෂය මැද දෙපස ගොඩනැගිලිවලින් සෙවණ වූ මේ අඩි විස්සේ පාර ඔස්සේ කී දාහක නම් සපත්තු වේද.. ලෝකයේ පිළිගත් සපත්තු විශේෂ ගණනාවක්‌ මල්වත්ත පාරේ පේව්මන්ට්‌ එකේ ගොඩ ගැසී ඇති ආකාරය සැබෑ සිදුවීම දන්නා අයකු මවිත කරනවා සිකුරුය. එක කාලයක්‌ රටම කතා කරපු ලුවී විටෝන් සපත්තුත් සමහරවිට මේ සපත්තු ගොඩවල් අතරෙ නොතිබෙන්නට නොහැක. ඩොක්‌ටර් මාටීන්, ජෝන් වයිට්, ටිම්බර් ලෑන්ඩ්, වුඩ් ලෑන්ඩ් වැනි ලෝක ප්‍රකට සන්නාම සහිත සපත්තු මල්වත්ත පාරේ ලන්සු වෙන්නේ හිතාගන්නට හෝ නොහැකි විදියටය.

මේ කියනා පරිදි සැබෑවටම මේ සපත්තු ලොව ඉහළ සන්නාමයන්ද යන්න ඕනෑම අයෙකුට ඇතිවිය හැකි ගැටලුවකි.
නෑ. ඇත්ත. අපේ ළඟ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් බඩු තියෙනවා. ඒවා මෙහෙට එන විදිත් තියෙනවා. කස්ටම් එකෙන් පන්නන්න බැරි මොනවද මෙව්වා තියේ නම්... ඔහු ඇඟිලි දෙකක් එකිනෙක ස්පර්ෂ කරමින් පෙන්වයි.

අපි කරන්නේ වරායට එන නැව් වලින් අයින් කරන බඩු ගන්නවා. නැත්තම් රට ඉඳලා රෙදි ගේන අය එයාලගේ කන්ටේනර් පෙට්ටි ඇතුළේ හංගලා සපත්තු ගේනවා. සුද්දෝ අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරලා අයින් කරන ඒවා තමයි මේ තියෙන්නේ. එහෙමයි කියලා සපත්තුව කිරි ටොයියාට හදලා ගත්තාම ඌ උගේ අතීතේ කියන්නේ නෑනේ. කකුලේ ඩොක්ටර් මාටින් කුට්ටමක් තියෙනවා නම් ඉතින් ආයේ කවුද දන්නේ ඒක මැජෙස්ටික් සිටි එකෙන්ද මල්වත්ත පාරෙන්ද ගත්තේ කියලා. අනික බලන්න මහත්තයා මේ බෑග්. මෙව්වාත් සුපිරි බඩු. කෙලින්ම ඉම්පෝර්ටඩ්. ගැරෙන්ටි කරලා දෙන්නේ...

දැන් බිස්නස් කොහොමද. මේ කාලෙට වැඩිද?

අවුරුද්ද අවසානෙට ටිකක් වැඩියි. පහුගිය සතියේ තිබුණු දිග නිවාඩුවට කලින් දවස් දෙකෙත් බිස්නස් සරුයි. මිනිස්සු ගමේ යද්දී ඇවිල්ලා එක එක ඒවා ගෙනියනවා. අද සඳුදානේ. අද නෙවෙයි බදාදට පස්සේ නම් සරු වේවී කියලා හිතනවා.

මිනිස්සු බ්‍රෑන්ඩ් බලලාද බඩු ගන්නේ?

මොන බ්‍රෑන්ඩ්ද මහත්තයා. මිනිස්සු බලන්නේ ගාණ. අපිටත් බ්‍රෑන්ඩ්වලින් ඇති එකක් නෑ. සුද්දෝ පාවිච්චි කරලා උන් වීසි කරන ඒවා නිසා රුපියල් තුන්සීයක් වගේ වියදම් කරලා මේවා මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ පිටි පස්සේ කෑල්ලේ ඉන්න සපත්තු හදන අයට දීලා කැඩුණු තැන් හදලා හීරිලා තියෙන තැන් මැදලා ගේන්න තව එකසිය පනහක් දෙසීයක් යනවා. අපි රුපියල් පන්සීයක් හයසීයක් වගේ වියදම් කරලා ගන්න බඩු එක්දාස් පන්සීයට දෙදාහට මිනිස්සුන්ට දෙනවා. සුද්දෝ පාවිච්චි කරලා වීසි කළාට මෙහේ අය අඩිය ගහලාම කී සැරයක් ආයේ ආයේ පාවිච්චි කරනවාද. බ්‍රෑන්ඩඩ් බඩු ඉතින් හම ගහ ගහ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නිසා අපෙන් එක සැරයක් කුට්ටමක් අරගෙන අය කෙනා ආපහු කාව හරි එවනවා අහවල් කෙනාගේ බඩු හොඳයි කියලා..

මල්වත්ත පාර අවසන් වන්නේ කොළඹ කොටුවේ ප්‍රධාන වීදියට පිවිසීමෙනි. රටේ සාතිශය බහුතරයක් නගරවල ප්‍රධාන වීදි තිබුණද කොළඹ කඨෝර බිමෙත් ප්‍රධාන වීදියක් තිබෙන වග බොහෝ දෙනා දන්නේ නැත.

මේ අඩවියේ ප්‍රධාන වීදිය වූයේ රියෝ ඩිරෙක්ඩෝ විදිය හෙවත් කෙළින් වීදියයි. කොටුවේ සිට පිටකොටුව තෙක් දිවෙන කෙළින් වීදියේ සම්භවය මේ වීදියයි. මේ වීදිය දිගේ අඩක් දුර ගිය විට පාවුළු දේවස්ථානය තේජාන්විත ස්වරූපයකින් නැඟී සිටිනු පෙනේ. මේ ඉදිරියෙන් නගර සභා ශාලාව පිහිටියේය මේ බ්‍රෝහියර් විසින් එදා කොළඹ ප්‍රධාන වීදිය හඳුන්වා දුන් ආකාරයයි. එදා කොළඹ ප්‍රධාන වීදිය හුදෙක් රටේ පරිපාලන කාරණා හා වැදගතුන්ගේ හා බලවතුන්ගේ වාසස්ථානවලට වෙන්වූ පෙදෙසක් වුවද අද එය මුළුමනින්ම පාහේ වෙළඳ කටයුතු වෙනුවෙන් වෙන්වී තිබේ. ප්‍රධාන වීදිය ඔස්සේ ඇවිද ගොස් ඒ මගින්ම පළමුවැනි හරස් වීදියට පිවිසිය හැක. ඊට ප්‍රථම යම් සංඛ්‍යා දත්ත කිහිපයක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව තිබේ.

කොළඹ නගරයේ පදික වේදිකාවල පුද්ගලයන් 1,158 දෙනෙක්‌ අනවසරයෙන් වෙළෙදාමේ නිරත වන බව පොලීසිය පවසා තිබේ. එම තොරතුරු හෙළිවී ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ, පරිසර ආරක්‍ෂණ කොට්‌ඨාසය කළ සමීක්‍ෂණයකිනි. ඒ අනුව කොළඹ නගරයේ පදික වේදිකාවල පුද්ගලයන් 720 දෙනෙක්‌ අනවසරයෙන් වෙළඳ ලෑලි හෝ කුටිවල වෙළෙදාමේ නිරත වන අතර පදික වේදිකාවල අනවසරයෙන් ස්‌ථානගත කර ඇති ලොතරැයි කුටි සංඛ්‍යාව 221 කි. ජංගම රථ 120ක්‌ පදික වේදිකාවේ සිට අනවසරයෙන් වෙළෙදාමේ නිරත වෙන බව කියැවේ. කොළඹ නගරයේ පදික වේදිකාවේ අනවසරයෙන් පවත්වාගෙන යන පත්තර තට්‌ටු සංඛ්‍යාව 45කි.  ඊට අමතරව අත් කරත්ත 52 ක්‌ පදික වේදිකාවේ අනවසරයෙන් කොළඹ පොළොවේ බඩු භාණ්ඩ විකිණීමේ නිරත වේගමෙතෙක් වේලා අපි භාවිත නොකළ අනවසරයෙන් යන්න මේ කොළඹට අතිශයින්ම සුපුරුදු වදනකි. මෙහි අවසරයෙන් සිදුවන කාරණා තරමක් නුපුරුදු වුවද ඔය කියූ අනවසරය ඉතාම සුපුරුදුය.

පළමුවැනි හරස් වීදිය තතුදන්නන් හට සුපුරුදුව ඇත්තේ දුරකථන චාජරයේ සිට නන් විධි සියලුම දෑ එකම පාරකින් මිලදී ගත හැකි ස්ථානය ලෙසය. මෙහි ඇත්තේ දුරකථන පමණක් නොවේ. විදුලිය ගලාගෙන යන්නට හැකි යමක් වේද එය පළවැනි හරස්වීදියේදී ඔබට සොයාගත හැක. වෙනකක් තබා විදුලි ජනක යන්ත්‍ර වෙනුවෙන් පවා මෙහි මැදිහත්කරුවෝ වෙති. ඔවුන් හරහා ඔබට ඕනෑම යමක් මිලදී ගත් හැක. මේ පාරේ සිටින්නන් බිය කාරණා දෙකකටය.
වැස්සක් ආවොත් වැඩේ අමාරුයි. විකුණන බඩු ඉලෙක්ට්‍රික් ඒවා නිසා වතුරට අහුවුණු ගමන් ඉවරයි. ඒ නිසා වැස්ස නැත්තම් අපිට හොඳයි. ආයේ ඉතින් අර නඟර සභාවේ කට්ටිය තමයි. උන්ට කියක් හරි හොයාගන්න ඕන වුණාම එනවා අපි අනවසර වෙළෙන්දෝ කියාගෙන. ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න මොන අවසරයක්ද මහත්තයෝ. මෙතන මහපාරේ තියාගෙන අපි මිනීමරන්නේ නෑනේ. සාධාරණ වෙළෙදාමක් කරන්නේ. උන්ට කප්පම් ගෙවන්නේ නැත්තම් තමයි අපිව අනවසර වෙන්නේ...

දැන් මිනිස්සු එනවද මෙහෙම මහපාරේ දූවිලි වැදි වැදි තියෙන ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න?

ආයෙත් අහලා. හැමෝටම එකවගේ සල්ලි නෑනේ. අනික මේ කොටුවට හැමදාම දාහක් හමාරක් ඉස්ඉසෙල්ලාම කොළඹට එන කෝඩුකාරයෝ බහිනව. එයාලට ඉතින් මේ ලේන් දෙක තුන මැජික්. මහත්තයත් මුලින්ම කොළඹ ආපු කාලේ මතක ඇතිනේ. ඒ ඇරුණාම කොටුවේ පැයක් දෙකක් රස්තියාදු වෙන්න වුනොත් මිනිස්සු ඇවිල්ල මේ පාරවල්වලත් ඇවිදලා යනවා. දැන් බලන්න අර එහා ලෑල්ලේ තියෙන වයර් කෝඩ් එක. මහත්තයා ඔතන ඉදගෙන කියන්න ඒකේ ගාණ කීයක් වගේද?

දාහක්?

අඩෝ නට්ටා.. උඹේ ඔය වයර් කෑල්ල කීයකට දෙනවාද?

නට්ටා යනුවෙන් ඇමැතූ කළු දමිළ වෙළෙන්දා හිස ඔසවා බලාඇඟිලි පහක් පෙන්වීය..

අම්මට උඩු. දැක්කානේ බඩුව පන්සීයයි. දැන් මහත්තයා දූවිලි වැදුණා කියලා පාඩුද?

කට උත්තර නැත. මේ වසරේ සෑම දිනයකම පවත්නා ලාභ බඩු සාප්පු අතරින් දෙවැනි හරස් වීදිය පැත්තට යන්නට වෙලාවයි.

දෙවැනි හරස් වීදිය තනිකරම රෙදි කඩයකි. නෙක නෙක සළු නෙක නෙක මිලට ලබාගන්නට ඔබට එහිදී හැක. එසේම මෙතෙන් පසුකර පැමිණි වීදිවලින් වැඩිම කාර්යහුලත්වයක් ඇති වීදිය වන්නේත් මේ දෙවැනි හරස් වීදියයි. වසර අවසානයේ මිනිසුන් වැඩිපුරම මිලදී ගන්නේ රෙදි පෙරෙදි නිසාවෙන් දෙවැනි හරස් වීදියේ සිල්ලර මෙන්ම තොග වෙළෙඳාමද සරුය. කොතරම් සරුද කියන්නේ නම්, මේ කියූ දවසේ කතාවට යමෙක් අල්ලා ගන්නට හෝ ඉස්පාසුවක් ඔවුනට නැත. දෙවැනි හරස් වීදිය ඒ ඒ කාලයට ලබාගන්නා පාට හා වේශයන් අනුව දැන් ඇත්තේ අලුත් අවුරුදු වේශයෙනි. දැන් රෙදි ලෑලි පුරාවට බලය පතුරුවාගෙන සිටින්නේ අලුත් අවුරුද්දටත්, එළැඹෙන නත්තලටත් ලැහැස්ති වෙන්නාවුන් වෙනුවෙන් ඔවුන්ගේ බෑගයට බැස ඔවුන්ගේ නිවෙස් කරායන්නට සූදානම් ඇඟලුම් ය. අවසානයේ එක අයෙක් කතාවට අල්ලාගත්තේ දෙවැනි හරස් වීදියට ආසාධාරණයක් කළ නොහැකි නිසාවෙනි.

කට්ටිය පිරිලා හිටියාට බිස්නස් අඩුයි දැන්. දැන් දැන් මිනිස්සු ඒසී කරපු කඩවලින් බඩු ගන්න පුරුදු වෙලා. ගොඩාක් වෙලාවට ලංකාවේ ගාමන්ට්වලින් එළියට දාන රිජෙක්ට් බඩු දැන් කඩවල්වල මාර අඩුවට තියෙනවා. අපෙන් රෙදි කෑල්ලක් ගන්න එන මිනිස්සුත් කඩවල්වල තියෙන බඩුවල මිල කියලා හෙට්ටු කරවනවා. කෑල්ල දෙක එහෙම අඩුවට දුන්නාම අපි කාලා ජීවත් වෙන්න බෑ. දැන් ගොඩක් වෙලාවට පිටින් එන අයට තොග විකුණලා තමයි අපි කීයක් හරි හොයාගන්නේ. අපේ ළඟ බඩු නැතත් තියෙන කෙනෙක්ට ඕඩරේ අල්ලලා දුන්නාම එතනින් සාධාරණ ගාණක් එනවා. කවුරු කවුරුත් ගේම ගහන්නේ ජීවත් වෙන්නනේ. අනික අපි දාහක් කියන කෑල්ල එන මිනිස්සු පන්සීයට අඩු කරලා ගෙනියන්නේ. මොනවා කරන්නද ඉතින්... දවසකට රුපියල් තුන් හාරදාහක හරි බිස්නස් කරගත්තේ නැත්තම් හවසට හුළං තමයි...

ඔයාලා කාටවත් කඩකුලී එහෙම දෙන්නේ නෑනේ.. ඉතින් සම්පූර්ණ ලාබයම ඔයාලටනේ?

කඩකුලී නැතත් වෙන වියදම් කොච්චර තියේද. අනික අපිටත් දරුවෝ ඉන්නවා. උන්ට රෙදි කවන්න බෑනේ. හාරදාහක බිස්නස් කරගත්තොත් ලාබේ අටසීයක් දාහක් තමයි. දැන් කාලේ රුපියල් දාහකින් මොන රෙද්දක් කරන්නද. වෙන වෙන ටෙම්පරි සීන් මේ ඉන්න ගමන් ඇදලා තමයි දවස ශේප් කරගන්නේ...

කාටකාටත් කියන්නට තමන්ගේම කතාවක් තිබේ. දැන් දැන් ක්‍රෙඩිට් කාඩ් ආදියට ලැබෙනා පහසුකම් හා විශේෂ ලාභ නිසාවෙන් මිනිස්සු බොහෝමයක් පාහේ සැප කඩවල රස්තියාදුවක් ගසන්නට නිතැතින්ම යොමුවෙති. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් මෙකී සැප කඩවලින් බඩු මිලට ගැනීමයි. එකී මිලට ගැනීමේදී ගෙවන්නට වන මුදල රුපියල් සීයක් හමාරක් වැඩිවුවද ඒ ගැන මහා දුකක් කනගාටුවක් නැති තරම්ය. මන්දයත්, ඇස සැනසීම හා ගතට සැප දැනීම ඒ කනගාටුව දුරස් කර තිබේ.

කොළඹ කොටුව යනු එලැඹෙන සෑම තත්පරයකම මහා පරිච්ඡේද ලියැවෙනා අපූරු පොතකි. එහි ආවෝ ගියෝ සිදුකළ, කී-කළ හා නො-කළ කාරණා කෝටි ගණනිනි. අතීතයේ ගමේ පොළේ ඇවිද පසුව කොළඹ සේන්දුවූවෝ අදත් මේ මල්වත්ත පාරේ සිට දෙවැනි හරස් වීදිය දක්වා ඇවිද යති. ඒ අතරේ මිරිස් දැමූ අඹ කති. වෙරළු මිල අසති. අව් කණ්ණාඩියක් මුහුණේ රුවා වටපිට බලති. බඩු මිලට හෙට්ටු කරති. මොනවා වුණත් ලෝකෝත්තර මහත්වරුමෙන්ම සත්ගුණවත් පින්වතුන්ද කොටුවේ ගෙන්දගම් පොළොවමත මහා ගනුදෙනුවකය. ඒ ගනුදෙනුව කවදාවත් නිමවන පාටක් නැත. අඩු මිලට බඩු විකිණු අය මෙන්ම ලාභයට බඩුගත් අයද සතුටිනි. ලෝකය භ්‍රමණය වන බව භූගෝල විද්‍යාව උගනිද්දී අපි අසා ඇත්තෙමු. එහෙත් කොටුවේ සල්පිල් වීදිවල වෙළෙඳ සංස්කෘතිය කිසිදා භ්‍රමණයවන බවක් පෙනෙන්නට නැත. එනිසා ලාභයි... ලාභයි... හඬ අසාගෙන අපේ ඉලක්කයට ඉව අල්ලමින් අපි ඉදිරියටම යමු.

 

කතාව හා සේයාරූ - ප්‍රසාද් අබේවික්‍රම

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00